Breaking News

Tuesday, March 11, 2014

~ සිල්වත් දායකයාගේ ගුණය නිසා මහත්ඵල වන දානය ~



යෝ සීලවා දුස්සීලේසු දදාති දානං
ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති

යම් සිල්වතෙක් මහත් වූ කර්මඵලය විශ්වාස කරමින් දැහැමින් ලැබූ වස්තුව පහන් සිතින් දුශ්ශීලයන්ට දේ නම් ඒ දායකයාගේ ගුණය නිසා මහත්ඵල වේ.
එසේම මෙම කරුණ මෙසේද සඳහන් වෙයි.

යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං
අධම්මේන ලද්ධං අප්පසන්න චිත්තෝ
අනභිසද්දහං කම්මඵලං උලාරං
සා දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ක්‍ධති


යම් දුශ්ශීලයෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නොතබමින් අප්‍රසන්න සිතින් අධර්මයෙන් ලැබූ දෙය සීලවන්තයාට දේ නම් ඒ දානය ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණය නිසා මහත්ඵල වේ...

මෙයින් පෙනීයන වැදගත් කරුණක් නම් දන්දීම සඳහා සිල්වතුන්ම අවශ්‍යවන්නේ දුශ්ශීල දායකයාට බවයි. දායකයා දුශ්ශීල වූවත් දානය ලබන ප්‍රතිග්‍රාහකයන් වහන්සේ සිල්වත් බැවින් මහත්ඵල ලබාගත හැකි බවයි.

දානමය පින්කමක් සඳහා සූදානම්වන දායකයා පළමුව කළයුත්තේ යම් සීලයක පිහිටා සිල්වතෙකු වීමයි. එවිට එම දානය පූජා කරනතුරුම සෑම ක්‍රියාකාරකමක්ම ඔහුට පින් පිණිස හේතු වෙයි.

මහබෝසතාණන් වහන්සේ අඹුදරුවන් දන් දුන්නේය. යශෝදරා වැනි පින්බර අඹුවන් ලැබීමට හෝ රාහුල වැනි සුපින්බර දරුවන් ලැබීමට හෝ පතාගෙන නොවේ. එකම පැතුම වූයේ අඹුදරු සෙනෙහස බුදුබව ලැබීමට බාධකයක් නොවේවා යන්නය. ඇස්, ඉස්, මස්, ලේ දුන්නේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ සහිත රූප ශෝභාව පතාගෙනද නොවේ. ධනය දන් දුන්නේද සතර මහා නිධාන පතා නොවේ. එහෙත් එකී සම්පත් තමන් වහන්සේ වෙත ලැබුණේ පින්ඵල ලෙසටයි.

එසේම එම සම්පත් කෙරෙහි ලෝභයෙන් වෙළෙන්නට හෝ ද්වේෂයෙන් දැවෙන්නට හෝ මෝහයෙන් අන්ධවීමට හෝ සිදු නොවන තරමට කුසල ශක්තියක් ගොඩනගාගෙන තිබුණි. ඒ පාරමිතා බලයයි. අපිදු දානයකින් ප්‍රාර්ථනා කළයුතු වන්නේ ලෞකික සැප නොව සසරට බැඳ තබන තණ්හා රැහැන් පට බිඳිය හැකි කුසලතාවයකි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
බුදුසරණ අන්තර්ජාල කලාපය

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates