පෙර
බරණැස් නුවර මද්දව නම් රජෙක් සිටියේ ය. දිනක් ඔහු ඉතා වටිනා වස්‌තුවක්
පරිත්‍යාග කළේ ය. පසුව ඒ ගැන සිතත් සිතත් ම ඒ ගැන ආශාව ඇති වී ඔහු රෝගාතුර
විය. රජු සුවපත් කිරීම පිණිස ඇමතියන්ගේ උපදෙස් පරිදි රජගෙදර මිදුලේ
ක්‍රීඩා ප්‍රදර්ශනයක් පවත්වන ලදී.
එහි එක් පුරුෂයෙක් අඩි දෙකහමාරක් පමණ දික් වූ තියුණු මුවහත් කඩුවක්
ගිල්ලේය. රජු ඒ දැක පුදුම වී ලෝකයෙහි එයටත් වඩා දුෂ්කර දෙයක් තවත් ඇත්දැයි
ඇමතියෙකුගෙන් විචාළේ ය. එවිට ඇමැතිය කියන්නේ,
මහ රජතුමනි මේ පුරුෂයා ඉතා මුවහත් වූ අනුන්ගේ ලේ හලන්නා වූ කඩුව ගිලින්නේ ධන ලෝභයෙනි. යමෙක් තමාට අයත් දෙයක් අනුන්ට දෙමියි කියා පොරොන්දුවේ නම් එය කඩුව ගිලීමට වඩා දුෂ්කර කරුණකි. අන් සියල්ල ඊට වඩා පහසු ය. "දෙමියි" කීම ඒ සියල්ලට වඩා අමාරු වැඩකැයි කීවේ ය.එය අසා,
රජතෙම අන් ඇමතියකුට කථා කොට පළමු ඇමතියා
කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක් ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු
කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵල ය. යමෙක් පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි ද ලෝකයේ ඇති අන් සියල්ලම පහසු යයි ද කීවේ ය.
එය අසා රජතුමා මම පොරොන්දු වූ සැටියට ම දී දුෂ්කර
දෙයක් කෙළෙමියි සතුටු වී ශෝකය තුනී කර ගෙන ළඟ සිටි මහ බෝසත් වූ සේනක
පඩිතුමාගෙන් කලින් කියන ලද කරුණු දෙකට වඩා තවත් දුෂ්කර කරුණු ඇත් දැයි
විචාළේ ය. ඊට පිළිතුරු වශයෙන් බෝසත් පඬිතුමා කියන්නේ,
මහ රජතුමනි මනුෂ්‍යයා
ස්‌වල්ප වූ හෝ බොහෝ වූ හෝ දාන දෙන්නේ ය. යමෙක් දුන් දේ ගැන පසුව නොතැවේ
නම් එය ඒ සියල්ලට වඩා දුෂ්කර කරුණකි. අන් සියල්ලම පහසු කරුණු යෑයි පැවසීය.
මෙය අසා රජතුමා මම දැන් දුෂ්කර කරුණු දෙකක්
සම්පූර්ණ කළෙමි. මා වැන්නකුට දුන් දෙය ගැන ශෝක කිරීම නුසුදුසු ය. ඒ තුන්වන
දුෂ්කර කාරණය ද මා විසින් සිදු කළ යුතුය යි සලකා ශෝකය දුරු කර ගත්තේ ය.
රජුගේ රෝගය ද සුව විය.
(දසණ්‌ණක ජාතකය)
http://dahamvila7.blogspot.com/ පළ වූ ලිපියක් ඇසුරෙනි.
No comments:
Post a Comment