Breaking News

Sunday, December 22, 2013

ධර්මය දිවියට ගැළපූ විට ලැබෙන සුව අපමණය

       පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි


 හොඳට මතක තියාගන්න, අපි ධර්මය ඉගෙන ගන්නවා වාගේම, ඒ ධර්මය ජීවිතයට ගලපා බලන්නත් පුරුදු වෙන්ට ඕනැ. අන්න එහෙම අපි පුරුදු කරගත්තොත් තමයි අපිට රාගය, ද්වේෂය, මෝහය අපේ සිතේ ඉස්මතු වෙලා එනකොට ඒකට යට නොවී අපේ හිත රැකගන්ට අවස්ථාව ලැබෙන්නේ. හැබැයි මේ කටයුත්ත තම තමා තනිවම කරගන්ට ඕනැ. කළ්‍යාණ මිත‍්‍රයා කරන්නේ ඒකට මඟ පෙන්වීම යි. ඒ උපකාරය ඇතුව තමා විසින් කරගත යුතු ප‍්‍රධානම දෙයක් තමයි යෝනිසෝමකසිකාරය ඇති කරගැනීම. අපි ආර්ය සත්‍යය හොඳින් ඉගෙන ගන්ට ඕනැ. ඉගෙන ගෙන මෙයයි දුක, මෙයයි දුකේ හට ගැනීම, මෙයයි දුකේ නැතිවීම, මෙයයි දුක නැති කිරීමේ මඟ කියන මේ ආර්ය සත්‍යය අපගේ ජීවිතයට ගලපා බලන්ට අපි පුරුදු වෙන්ට ඕනැ.
ඒක තමයි අපි හුරුකරගත යුත්තේ. නමුත් බොහෝ අය ආර්ය සත්‍යය ජීවිතයට ගලපා බලන්ට පුරුදු වෙන්නේ නෑ. ඉක්මනින් සමාධිය ඇතිකරගන්ට තමයි කල්පනා කරන්නේ. මේක තමයි ගොඩක් අයට තියෙන අර්බුදය.
ආර්ය සත්‍යය ජීවිතයට ගලපා බලන කෙනාට ධර්මය ඉගෙන ගන්ට කැමැත්ත උපදිනවා. එයා කැමති වෙනවා ධර්මය තව තවත් ඉගෙන ගන්නට. ඇයි..? අපේ ජීවිතේ සම්බන්ධයෙන් කලින් ඉගෙන ගෙන නැති දේවල් අපිට ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබෙනවා ආර්ය සත්‍යය තුළින්. තවත් කෙනෙක් ඉන්නවා එයා ජීවිතයට ධර්මය ගලපා බලන්ට කල්පනා කරන්නේ නෑ, ඉක්මනින් සමාධිය ඇතිකරගන්න කල්පනා කරනවා. එතකොට එයාට කැමැත්තක් එයිද පොත පත බලන්න.? නෑ…. එයා ඉඳගෙන ඉන්ට තමයි කල්පනා කරන්නේ. ඇයි..? එයා උත්සහ කරන්නේ සමාධියක් සඳහා නෙ. එයා ධර්මය ජීවිතයට ගලපා බලන්න උත්සහ කරන්නේ නෑ.

මේ ධර්මය තුළ මුළුමනින්ම තියෙන්නේ අපේ ජීවිතයේ ඇත්ත කථාවයි. මේ ජීවිතයේ අභ්‍යන්තර තොරතුරු ධර්මයෙන් කියල දෙනවා. එතකොට ධර්මය ජීවිතයට බලන කෙනාට ජීවිතයේ යාථාර්තය ඉගෙන ගන්න කැමැත්තක් උපදිනවා. තවත් මොනවාද මේ ධර්මයේ කියල දෙන්නේ කියල ධර්මය ඉගෙන ගන්ට එයාට ආසා හිතෙනවා.

එයා ධර්මය ආසාවෙන් ඉගෙන ගන්නවා. මෙහෙම ධර්මය ඉගෙන ගන්න කෙනාට ඒ ධර්මය තමන්ගේ ජීවිතය තුළ ක‍්‍රියාත්මක වෙන ආකාරය දකින්නට කැමැත්තක් උපදිනවා. අන්න එයා වීර්යයෙන් භාවනා කරන්ට පටන් ගන්නවා. එයාට සමාධිය උපදිනවා. එතකොට සමාධිය උපදින්නේ කොහොම කෙනාටද…? වීර්යයෙන් භාවනා කරන කෙනාට. වීර්යයෙන් භාවනා කරන්නේ කවුද…? ධර්මය ඉගෙන ගන්ට ආසා කෙනා තමයි වීර්යයෙන් භාවනා කරන්නේ. ධර්මය ඉගෙන ගන්ට ආසා හිතෙන්නේ කාටද…? ජීවිතයට ධර්මය ගලපා බලන කෙනාට. එහෙම නම් අපි විසින් කළ යුත්තේ මොකක්ද…? ජීවිතයට ධර්මය ගලපා බැලීම. ඒ විදිහට ජීවිතයට ධර්මය ගලපා බලමින් නුවණින් කල්පනා කිරීමට තමයි කියන්නේ යෝනිසෝමනසිකාරය කියල.

අපි ජීවිතයට ධර්මය ගලපා බලන්නේ නැතිව කඩිමුඩියේ භාවනා කරන්ට ගියොත්, එයාගේ කල්පනාව තියෙන්නේ ‘ඉක්මනින් සමාධිය ඇතිකරගන්ට ඕනැ කියන අදහස තුළයි. එයාට පොත පත බලන්ට, දේශනා අහන්ට, ධර්ම සාකච්ඡා කරන්ට ඒවාට හිත පිහිටන්නේ නෑ. අන්න ඒ නිසා හොඳට ඔබේ ජීවිතය තුළින් විමසල බලන්න, ඒ ස්වභාවය තියෙනවා නම් ඒකට ඉඩ දෙන්ට එපා. අපි පොත පත බලල ධර්මය ඉගෙන ගැනීමත්, භාවනා කිරීමත් කියන දෙක සමබර කරගන්ට ඕනැ. වත් පිළිවෙත් කිරීම, වන්දනා කිරීම මේ හැම කටයුත්තක්ම අපි සමබරව කරගන්ට ඕනැ. ඒ අතරේ තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මය ක‍්‍රියාත්මක වෙන විදිහ, ධර්මය ජීවිතයට ගලපා බලමින් තේරුම් ගන්ට පුරුදු වෙන්ට ඕන.

එහෙමනම් අපි මුලින්ම ආර්ය සත්‍යය ඉගෙන ගන්ට ඕනැ. ඒ ඉගෙන ගන්නා වූ ආර්ය සත්‍යය තමන්ගේ ජීවිතයට ගලප ගලපා බලන්නත් ඕනැ. කොහොමද ජීවිතයට ගලපා ගලපා බලන්නේ…? ‘මම වයසට යන කෙනෙක්, මම ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ…’ කියල කල්පනා කරන්න. ඒක ආර්ය සත්‍යයක් නේද…? ඒක තමන්ගේ ජීවිතයට ගලප ගලපා බලන්න. ‘මම ලෙඩ වෙන කෙනෙක්, මම ඒ ලෙඩ වෙන ස්වභාවය ඉක්මවල නෑ…’ කියල කල්පනා කරන්න. ‘මම මැරෙන කෙනෙක්, මම ඒ මරණයට පත්වෙන ස්වභාවය ඉක්මවල නෑ…’ කියල කල්පනා කරන්න. මේවා නේද ආර්ය සත්‍යය තුළ තියෙන්නේ…? ඒ ආර්ය සත්‍යය තුළ උගන්වන දේ තමන්ගේ ජීවිතයට ගලපල බලන්ට පුරුදුවෙන්න. අන්න ඒ විදිහට බලන කෙනාට කැමැත්ත උපදිනවා මේ ධර්මය ඉගෙන ගන්නට. ඒ වගේම මේ ධර්මයේ හැසිරෙන්න. මේ ධර්මයේ කියල දෙනවා ඉපදීම නිසා වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම කියන මෙන්න මේ දේවල් හටගන්නවා කියල. එතකොට අපේ ජීවිතය තුළ මේ දුක් දොම්නස් හටගන්නවාද, නැද්ද…? හටගන්නවා. එතකොට එයා තමන්ගේ ජීවිතයේ හටගන්න දුක් දොම්නස් ධර්මයේ කියල දීල තියෙන විදිහට තමන්ගේ ජීවිතය එක්ක ගළපලා බලනවා. මේ දුක මේ දොම්නස, ඉපදීම නිසා හටගත්ත එකක් කියල කල්පනා කරනවා. එයා ඒ විදිහට ධර්මය ජීවිතයට ගලපලා බලනවා.

එතකොට බලන්න අපේ හිතට දුක, දොම්නස එනකොට ඒ විදිහට ධර්මය සිහි වෙනවද කියල. ඒ වගේ දුකක් දොම්නසක් හටගත්ත වෙලාවට අපි ධර්මය සිහිකරොත් අපිට යෝනිසෝමනසිකාරය පුරුදු කරගන්ට අවස්ථාව තියෙනවා. අපි තේරුම්ගත්තොත් මේ දුක හට ගන්නේ හිතේ කියල, අපි ඒ දුක ආර්ය සත්‍යය සමඟ ගලපලා බැලූවොත් අන්න අපිට යෝනිසෝමනසිකාරය උපදවාගන්ට පුළුවන්කම තියෙනවා. මේ නිසා අපේ ජීවිතයේ දුක් දොම්නස් හටගන්න කොට ධර්මයත් එක්ක ගලපලා බලන්න. එතකොට එයා තමාගේ ජීවිතය තමා විසින්ම දියුණු කරගන්නවා.

අපිට අසනීප වෙලා ඇඳට වැටෙනවා. එතකොට වුනත් මේක කරන්න බැරිද අපිට…? දැන් අපිට උණ හැදුනා කියල හිතන්න. අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ…? ”අනේ මට උණ භාවනා කරගන්නත් බෑ. පොත් බලන්නත් බෑ. මොකද කරන්නේ” කියල නේද අපි කල්පනා කරන්නේ…? ඇයි එතකොට අපිට කල්පනා කරගන්න බැරිවෙන්නේ මේ ලෙඩවීම දුකට අයිති දෙයක් කියල. ඒකට හේතුව තමයි අපි ධර්මය ජීවිතයට ගලපා බලන්ට නොවෙයි මහන්සි වූනේ. ඉක්මනින් සමාධිය ඇතිකරගන්ට ඕනැ කියල තමයි කල්පනා කළේ. ඒ නිසා එයාට ඒ වෙලාවට ධර්මය සිහිවෙන්නේ නෑ. ධර්මය ජීවිතයට ගලපා බලන කෙනාට ලෙඩ වුනත් ලේසියි. ඇයි ඒ නිමිත්ත තමන් ලඟම තියෙනවා. හතුරා හොය හොය ඉන්න සොල්දාදුවාට හතුරා ලඟට ආවා වගේ දැන් එයාට. දැන් එයා දුවයිද…? සතුටුවෙයිද…? සතටුවෙනවා. ඇයි..? සතුරා ලඟට අපුවාම එයාට සතුරා අල්ල ගන්න එක ලේසියි. මොකද සතුරා අල්ලගත්තාම එයා දිනනවානේ. අන්න ඒ වගේ අපිත් සතුරා හොයන අය බවට පත්වෙන්ට ඕනැ. මොකක්ද සතුරා…? දුක. ලෙඩවීම දුකයි. වයසට යෑම දුකයි. මරණයට පත්වීම දුකයි. ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. මේකෙන් නේද අපිට නිදහස් වෙන්ට තියෙන්නේ…? එතකොට අපි තුළ මේ දුක තියෙනවා දැක්කොත් අපිට ඒකෙන් නිදහස් වෙන්ට අවස්ථාව තියෙනවාද…? නැද්ද…? තියෙනවා.

ඒ නිස අපි හොඳට ඉන්න වෙලාවේදී අපේ ජීවිතයට ආර්ය සත්‍යය ගලපා ගලපා බලන්ට ඕන. අන්න ඒ හොඳට ඉන්න වෙලාවේදී අපි කල්පනා කරල බලන්ට ඕන, ‘මම ලෙඩ වෙන කෙනෙක්, මම ඒ ලෙඩ වෙන ස්වභාවය ඉක්මවල නෑ…’ කියල. ‘මම වයසට යන කෙනෙක්, මම වයසට යන ස්වභාවය ඉක්මවල නෑ…’ කියල. ‘මම මරණයට පත්වෙන කෙනෙක්, මම ඒ මරණයට පත්වෙන ස්වභාවය ඉක්මවල නෑ…’ කියල කල්පනා කරන්ට ඕන. ඒක පුරුදු කරන්ට ඕන.

අපි හිතමු ඔන්න කෙනෙක් මේ විදිහට ‘මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියල කල්පනා කර කර ඉන්නවා. මෙහෙම ඉන්න කොට එයා ලෙඩවෙනවා. දැන් එයා සිහිකරපු දේ එයා තුළින් බැහැර වෙලා යයිද…? නෑ. එයාට තවත් පහසුවෙන් ඒක සිහිකරන්ට පුළුවන්. එහෙම කළා කියල ලෙඬේ හොඳ වෙන්නේ නෑ. හැබැයි එයාට ලෙඬේට යට නොවී ඉන්ට පුළුවන්කම තියෙනවා. ඇයි..? දැන් එයා ධර්මය දකිනවා. ”මෙක තමයි බුදුරජාණන් වහන්සේ කියල දුන්නේ” කියල. එතකොට එයා ධර්මයට පහදියිද නැද්ද…? පහදිනවා. එයාට තේරෙන්නේ නැතිවෙයිද මේ ලෙඩ වීම දුකයි කියන දේ. තේරෙනවා. එයා තේරුම් ගන්නවා මට වගේමයි අනිත් අයටත් ලෙඩ වීම දුකයි කියල.

මට වගේම තමයි අම්මට ලෙඩ වුනොත් අම්මටත් මේක දුකක්. තාත්තාට ලෙඩ වුනොත් තාත්තාටත් මේක දුකක්මයි. අතීතයේ යම් කෙනෙක් ලෙඩ වුනා නම් ඒකත් දුකක්. අනාගතයේ යම් කෙනෙක් ලෙඩ වෙනවා නම් ඒකත් දුකක්. මේ ලෝකයේ සියලූ දෙනාටම ලෙඩවීම දුකක්. ලෙඩවීම දුකක් නෙවෙයි කියල කියන්න පුළුවන් කෙනෙක් නෑ… කියල එයා තේරුම් ගන්නවා. මෙහෙම තේරුම් ගන්නේ ඇයි…? තමා තුළම ලෙඩවීම දුකයි කියල තමා දැක්කා. තමන් තුලම ලෙඩවීම දුකක් කියල තේරුම් ගත්තා. මෙහෙම තේරුම් ගත්තේ කොහොමද…? ආර්ය සත්‍යය ගලප ගලපා බැලීමෙන්. මේ විදිහට ආර්ය සත්‍යය ගලප ගලපා බලන කෙනාට තවදුරටත් ජීවිතේ හොඳින් තේරුම් ගන්න අවස්ථාව සැලසෙනවා. මේ ජීවිතය හොඳින් තේරුම් ගන්න එයා මොකද කරන්නේ…? මේ ජීවිතය ගැන කියා දෙන ධර්මය හොඳින් ඉගෙන ගන්නවා. මේ දුක හටගන්නේ මොකෙන්ද…? තණ්හාවෙන්. මේ හැම දෙයක්ම ධර්මය තුළ කියල දෙනවා. එයා ආසාවෙන් ඒවා ඉගෙන ගන්නවා. ඊට පස්සේ එයා ඒ දුක දුරුකරන්ට මොකක්ද කළ යුත්තේ කියල ධර්මය තුළින් ඉගෙන ගන්නවා. එයා ඒ තණ්හාව දුරු කරන්න කැමති වෙනවා. එයා වීර්යයෙන් භාවනා කරනවා. අන්න එයාට යම් කලෙක සමාධියක් ඇති කරගැනීමේ ඉඩකඩක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා.

නමුත් යම් කෙනෙක් ආර්ය සත්‍යය ජීවිතයට ගලපා බලන්නේ නෑ, එයා බලනවා සමාධිය උපදවාගන්න. එයාට ඔන්න හෙම්බිරිස්සාවක් හැදෙනවා. එහෙම නැත්නම් කොන්දෙ අමාරුවක් එනවා. එයා මොකද කරන්නේ…? එයා කඩන් වැටෙනවා. ‘අයියෝ… අද ඔළුවෙ අමාරුව. මට මොකුත් කරගන්ට බෑ….’ එයා සම්පූර්ණයෙන් කලබල වෙලා යනවා. මේ නිසා අපි විසින් කළ යුත්තේ මොකක්ද…? වහා වහා කඩිමුඩියේ ඉඳගෙන සමාධිය උපදවාගන්නම් කියල කල්පනා කරල ඉඳගැනීමද…? ආර්ය සත්‍යය ජීවිතයට ගලපා ගලපා බැලීමද?. ඒ ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, අප‍්‍රියන් හා එක්වීම, දුක් දොම්නස්, සුසුම් හෙලීම්, අඩන වැලපෙන ස්වභාවයන් මෙන්න මේ දුක් ගලපලා බලන්න ජීවිතයට. මගේ ජීවිතේ තුලත් මේවා තියෙනවා නේද? කියල. මේවා ජීවිතය තුළ තියෙනවාද නැද්ද…? තියෙනවා. අන්න ඒ දුක් ස්වභාවය මේ ජීවිතය තුළ තියෙනවා කියල තේරුම් ගන්ට බලන්න. අන්න එයාට යෝනිසෝමනසිකාරය උපදවාගන්ට පුළුවන්කම ලැබෙනවා.

මේ විදිහට ධර්මය ජීවිතයට ගලපලා බලනවා කියලා කියන්නේ, ඒකම තමයි යෝනිසෝමනසිකාරය කියල කියන්නේ. එතකොට එයා බලවත්ව ඒ විදිහට පුරුදු කරන කොට ඒ යෝනිසෝමනසිකාරය එයා තුළ පවතින එකක් බවට පත්වෙනවා. අන්න එයාට රාගය ඉස්මතුවෙලා හෝ වේවා ද්වේශය ඉස්මතු වෙලා හෝ වේවා මෝහය ඉස්මතු වෙලා හෝ වේවා යම් ගැටළුවක් ඇතිවුනොත් අන්න ඒ ගැටළුව නිරාකරණය කරගැනීම එයාට අපහසුවක් වෙන්නේ නෑ. එයාට ධර්මය සිහිකරල ඒක දුරුකරගන්ට අවස්ථාව උදාවෙනවා. නමුත් බලවත්ව හිත වැහිල තිබ්බොත් එයා වහා වහා කළ්‍යාණ මිත‍්‍රයා ලඟට ගිහින් විවෘත වීමෙන් ඒ ගැටළුව නිරාකරණය කරගන්නවා.

ඒ නිසා හොඳට තේරුම් ගන්න අපි විසින් කළ යුතු වන්නේ ධර්මය ජීවිතයට ගලපා බලමින් යෝනිසෝමනසිකාරය ඇතිකරගැනීම යි. එහෙම කල්පනා කරල යෝනිසෝමනසිකාරය ඇතිකරගත්තොත් එයාට පුළුවන් වෙනවා රාගය ඉස්මතු වෙලා එනකොට ඒ රාගයට යට නොවී ඉන්න. ද්වේශය ඉස්මතු වෙලා එනකොට ඒකට යට නොවී ඉන්න. මෝහය ඉස්මතු වෙලා එනකොට ඒකට යට නොවී ඉන්න. ලෙඩක් හැදුනොත් ඒකට යට නොවී ඉන්න. කෙනෙක් නින්දාවක් කළොත් ඒකට යට නොවී ඉන්න. කෙනකේ ප‍්‍රශංසාවක් කළොත් ඒකට යට නොවී ඉන්න.

අන්න එහෙම පුළුවන් වෙන්නේ යෝනිසෝමනසිකාරය උපදවාගැනීමෙන්, යෝනිසෝමනසිකාරය පුරුදු කර ගැනීමෙන්මයි. වෙන ක‍්‍රමයකින් නෙවෙයි. ඒ යෝනිසෝ මනසිකාරය උපදින්නේ කොහොමද…? ආර්ය සත්‍යය ජීවිතයට ගලපා බැලීමෙන්මයි. වෙන ක‍්‍රමයකින් නෙවෙයි. එතකොට අපි ඉගෙන ගන්නවා, පුරුදු වෙනවා කියල කියන්නේ ඒ යෝනිසෝමනසිකාරය ඇතිකර ගැනීම පිණිස ආර්ය සත්‍යය ජීවිතයට ගලපා බලන්න පුරුදු වීමයි. සියලූ දෙනාටම ඉතා ඉක්මනින්, තම තමන්ට හැකි පරිද්දෙන් යෝනිසෝමසිකාරය උපදවා ගැනීම පිණිස, ආර්ය සත්‍යය ජීවිතයට ගලපා බැලීම පිණිස භාග්‍යය උදාවේවා



‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

 උපුටා ගන්නා ලදි..

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates